14 වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලිය - 2023 (SLUG) යටතේ ක්‍රිකට් මූලික තරඟ පසුගිය ජූලි 15 සහ 16 දෙදිනත් ජූලි 22 වන දිනත් ශ්‍රී ලංකා පුරා ඇති සියලුම විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනවල පැවැත්විණි. මෙම දින 3 පුරාවටම, තරඟ 14 කට ආසන්න ප්‍රමාණයක් දක්වා පැවැත්වූ මෙම මූලික වටයේ තරඟවල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයට එකම තරඟයකදී වාර්තා 3 ක් ජපුර කණ්ඩායමෙන් එක් කිරීම කැපී පෙනුණු සිදුවීමක් විය. නිමාවට පත්වූ තරඟ පිළිබඳව MoraSpirit අපගේ මතකය මෙම ලිපිය හරහා පාඨක ඔබ වෙත විවර කරලමු.
ක්‍රිකට් තරගාවලියේ මූලික අදියර කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් යුතුව කාණ්ඩ 4ක් යටතේ පවත්වනු ලබයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා රුහුණු විශ්වවිද්‍යාලය අතර පැවති තරඟය A කාණ්ඩය යටතේ පලමු තරඟය ලෙස පැවැත්විණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පලමුවෙන් පන්දුවට පහරදුන් අතර, පන්දුවාර 50ක් අවසානයේ ක්‍රීඩකයින් 6 දෙනෙක් පමණක් දැවී ලකුණු 281ක් රැස් කරගැනීමට ඔවුන් සමත් විය. දෙවෙනි ඉනිමේ පන්දුවට පහරදුන් රුහුණු විශ්වවිද්‍යාලය පන්දු වාර 38 දී අවසානාවන්ත ලෙස සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 130 ක් පමණි. ඒ අනුව එම තරඟයේ ජයග්‍රහණය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හට හිමිවිය.
එමෙන්ම A කාණ්ඩයේ දෙවන තරඟය ලෙස SLUG 2023 හි සුවිශේෂීම තරගය හැදින්විය හැක. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය අතර පැවති තරඟයයි. පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පන්දු වාර 50ක් අවසානයේ ලකුණු 498 ක දැවැන්ත ඉලක්කයක් තැබීය. පලමු ඉනිම අවසාන වන විට ජපුර කණ්ඩායම විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයට වාර්තා 3ක් එක් කරන ලදී. ජපුර කණ්ඩායමේ උමේෂ් ලක්ෂාන් සහ ලෙෂාන් අමරසිංහ විසින් දෙවෙනි කඩුල්ල වෙනුවෙන් තැබූ වැඩිම සබදතාවය ලෙස ලකුණු 263 ක සබදතාවයක් තම කණ්ඩායම වෙනුවෙන් එක් කරන ලදී. එමෙන්ම එදා මෙදා තුර විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ එක් ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණ ලෙස පන්දුවාර 146 කදී ද්විත්ව ශතකයක් (ලකුණු 244 ක්) තමන් වෙනුවෙන් එක් කරගනිමින් ජපුර කණ්ඩායමේ උමේෂ් ලක්ෂාන් වාර්තාවක් තැබීය. මෙයට 6 පහර 5ක් සහ හතරේ පහර 34 ක් ඇතුලත් වේ. පලමු ඉනිම අවසාන වන විට, කණ්ඩායමක් රැස් කරගත් වැඩිම ලකුණට හිමි වාර්තාවද හිමි කරගැනීමට ජපුර කණ්ඩායම සමත් වීය. ඒ පන්දුවාර 50 ක් අවසානයේ ලකුණු 498 ක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි. එමෙන්ම පලමු ඉනිමේ තවත් ශතකයක් (105-84) රැස් කරගැනීමට ලෙෂාන් අමරසිංහ සමත් වූ අතර මෙයට 4 පහර 14 ක් ඇතුලත් වේ. කෙසේ නමුත් දෙවෙනි ඉනිමෙදී ගම්පහ වික්‍රමාරාච්චි ක්‍රීඩකයින් සාර්ථක නොවූ අතර පන්දුවාර 34 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ඔවුන්ට රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 108 ක් පමණි.
A කාණ්ඩයේ තෙවන තරඟය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය අතර පසුගිය 22 දා පැවැත්වුණු අතර, එහිදී පලමුවෙන් පන්දුවට පහරදුන් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය පන්දුවාර 24 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස් කරගැනීමට සමත් වූයේ ලකුණු 73 ක් පමණි. දෙවෙනි ඉනිම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පහසු ඉනිමක් වූ අතර කඩුලු 2ක් දැවී ලකුණු 77 ක් ලබාගනිමින් එම තරඟය ඔවුන් ජයග්‍රහණය කරන ලදී.
B කාණ්ඩයේ මූලික වටයේ තරඟ අතර පසුගිය සති දෙක තුල තරඟ තුනක් පැවැත්විණි. ඒ මොරටුව විශ්වවිද්‍යාලය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය අතර, කොළඹ විශ්වවිද්‍යාලය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය අතර මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය අතරයි. ජූලි 15 වනදා මොරටුව විශ්වවිද්‍යාලය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය අතර තරඟය නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදි පැවැත්වූ අතර එහිදී පලමුවෙන් පන්දුවට පහරදුන් නැගෙනහිර විශ්වවිද්‍යාලය පන්දුවාර 47 පන්දු 5 කදී සියලු දෙනා දැවී ලකුණු 151ක් රැස් කරගන්නා ලදී. දෙවෙනි ඉනිමෙදී මොරටුව විශ්වවිද්‍යාලය පන්දුවාර 37 පන්දුවකදී කඩුලු 6ක් දැවී තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන ලදී.
මෙම කාණ්ඩයේ දෙවන තරඟ වටය කොළඹ විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය අතර පැවැත්විණි. මෙහිදී පලමු ඉනිමේ පන්දුවට පහරදුන් නැගෙනහිර විශ්වවිද්‍යාලය ලකුණු 66 කට සීමා කරමින් සියලු දෙනා දවා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වීය. කොළඹ විශ්වවිද්‍යාලයේ හිමසර රන්දෙනි සහ පසිදු සචේතන ක්‍රීඩකයින් මෙම තරඟය තුලදී පන්දු යැවීමෙන් කැපී පෙනෙන දක්ෂතා පෙන්වීය. දෙවෙනි ඉනිමේ පන්දුවට පහර දුන් කොළඹ විශ්වවිද්‍යාලය කඩුලු 2ක් පමණක් දැවී යමින් තම ප්‍රථම තරඟයේ ජයග්‍රහණය තමා සන්තක කරගැනීමට සමත් විය.
එමෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය හා කැලණිය විශ්වවිද්‍යාලය අතර පැවැත්වූ තරඟය ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනාගත් විශේෂ තරඟයක් විය. පලමුවෙන් පන්දුවට පහරදුන් මොරටුව විශ්වවිද්‍යාලයට පන්දු 49 යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 196ක් පමණි. නමුත් දෙවෙනි ඉනිමේ දක්ෂ අයුරින් පන්දු යැවීමෙන් මොරටුව විශ්වවිද්‍යාලය තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීම සදහා දැඩි ප්‍රයත්නයක් දැරීය. කෙසේ නමුත් කැළණිය විශ්වවිද්‍යාලය පන්දුවාර 49 කදී ලකුණු 196 ක් රැස් කරගනිමින් සම තත්වයකට පත් වූ අතර එම පන්දුවාරයේ දෙවන පන්දුවේදී එල්ල කල 4 ප්‍රහාරයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ බලාපොරොත්තු බිද දමමින් කැළණිය විශ්වවිද්‍යාලයට ජයග්‍රහණය හිමිවිය. මෙම තරඟයේදී පන්දු යැවිමෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ චාමික ප්‍රභාත් සහ ඉමේෂ් ප්‍රනාන්දු කැපී පෙනෙන දක්ෂතා පෙන්විය. පන්දුවාර 10ක් අවසානයේ ලකුණු 41ක් පමණක් ලබාදෙමින් කඩුලු 5 ක් දවාගැනීමට චාමික ප්‍රභාත් සමත් වූ අතර, පන්දුවාර 9 පන්දු 4ක් අවසානයේ ලකුණු 37 ක් පමණක් ලබාදෙමින් කඩුලු 4ක් දවාගැනීමට ඉමේෂ් ප්‍රනාන්දු සමත් විය.
මූලික වටයේ තරඟවල ක්‍රීඩා කරන C කාණ්ඩයේ කණ්ඩායම් අතර තරඟ 4 ක් පැවැත්වීමට පසුගියදා හැකියාව ලැබුණී. පලමු සතියේ රජරට විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය කලා අංශය අතර තරඟය සුන්දර මිහින්තලේ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පලමුවෙන් පන්දුවට පහරදුන් සෞන්දර්යය අංශය සියලු දෙනා දැවී පන්දුවාර 27 ක් අවසාන විට ලකුණු 95 ක් රැස් කරගන්නා ලදී. දෙවෙනි ඉනිම රජරට ක්‍රීඩකයින්ට පහසු ඉනිමක් වු අතර කඩුලු 2ක් පමණක් දැවී පන්දුවාර 18කදී තම ජයග්‍රහණය ලබාගැනීමට ඔවුන් සමත් විය. මෙම තරඟයේදී රජරට විශ්වවිද්‍යාලයේ
ශනිල්ක මලින්ද පන්දුවාර 7 යි පන්දු 2කදී ලකුණු 7 ක් පමණක් ප්‍රතිවාදී පිලට ලබාදෙමින් කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා පෙන්වීය.
එහි දෙවන තරඟය වයඹ විශ්වවිද්‍යාලය සහ මෙවර සත්කාරකත්වය සපයන අග්නිදිග විශ්වවිද්‍යාලය අතර පැවැත්වූ අතර පලමු ඉනිමේ පන්දුවට පහරදුන් වයඹ ක්‍රීඩකයින් පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 186ක් රැස් කරගන්නා ලදී. දෙවෙනි ඉනිමේ පන්දුවට පහරදුන් සත්කාරක අග්නිදිග ක්‍රීඩකයින් තම ජයග්‍රහණය වෙනුවෙන් උපරිම උත්සාහය දැරූ නමුත් ඔවුන්ගේ ඉනිම සියලු දෙනා දැවී යාම නිසා ලකුණු 153 කදී අත්හිටුවන්නට ඔවුන්ට සිදුවිය. මෙම තරඟයේදී වයඹ විශ්වවිද්‍යාලයේ නිලුක්ෂන් උදයකුමාර් පන්දු 90කදී ලකුණු 82ක් තම කණ්ඩායමේ ලකුණු සටහනට එකතු කල අතර, අග්නිදිග විශ්වවිද්‍යාලයේ ටී සූරියකාන්තන් පන්දු 88 කදී ලකුණු 66ක් ලබාගැනීමට සමත් විය.
මෙම කාණ්ඩයේ තෙවන තරඟය පසුගිය 22 වනදා අනුරාධපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී රජරට විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය අතර පැවැත්විණි. එහිදී පලමු ඉනිමේ පන්දුවට පහරදුන් රජරට විශ්වවිද්‍යාලය පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 202ක් රැස් කරගන්නා ලදී. දෙවෙනි ඉනිමේ පන්දුවට පහරදුන් අග්නිදිග විශ්වවිද්‍යාලය එතරම් සාර්ථක පිති හරඹයක් නොදැක්වූ අතර පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 152 ක් පමණක් ලබාගැනීම නිසා තරඟයේ ජයග්‍රහණය රජරට විශ්වවිද්‍යාලයට හිමිවිය. මෙහිදී පන්දු යැවීමෙන් දක්ෂතා පෙන්වූ අග්නිදිග විශ්වවිද්‍යාලයේ හබීබ් ෆවාරිස් ක්‍රීඩකයා පන්දුවාර 10 කදී ලකුණු 55ක් පමණක් ලබාදෙමින් කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.
සිව්වන තරඟය පසුගියදා වයඹ විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අතර මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර පලමු ඉනිමේ පන්දුවට පහරදුන් වයඹ විශ්වවිද්‍යාලයිය කණ්ඩායම ඉනිම අවසාන වන විට කඩුලු 6ක් දැවී ලකුණු 331ක දැවැන්ත ඉලක්කයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට තැබීය. වයඹ කණ්ඩායමේ හසින්දු ශාමික පන්දු 149 කදී නොදැවී ලකුණු 184 ක් තම කණ්ඩායම වෙනුවන් රැස් කරගත් අතර මෙයට 4 පහර 23 ක් හා 6 පහරක් ඇතුලත් වේ. දෙවෙනි ඉනිම සෞන්දර්ය ක්‍රීඩකයින්ට එතරම් පහසු නොවූයේ වයඹ ක්‍රීඩකයින්ගේ පන්දු යැවීම පිතිකරණයට බලපෑමක් එල්ල කිරීමයි. ඔවුන්ගේ ඉනිම පන්දුවාර 19 යි පන්දු 5කදී ලකුණු 65 කට සීමා කිරීමට වයඹ ක්‍රීඩකයින් සමත් වූ අතර මෙහි පන්දු යැවීමේ බලඇණියේ තරංග ප්‍රේමරත්න පන්දුවාර 6 යි පන්දු 5 කදී ලකුණු 11 ක් පමණක් ලබාදෙමින් කඩුලු 6ක් දවාගැනීමට සමත් විය. කෙසේ නමුත් අවසානයේ දැවැන්ත ඉලක්කයක් තැබූ වයඹ කණ්ඩායම මෙම තරගය ලකුණු 266 කින් ජය ගැනීමට සමත් විය.
පසුගියදා D කාණ්ඩයේ තරඟ දෙකක් පමණක් පැවැත්වූ අතර එහිදී පලමු තරඟය සබරගමුව විශ්වවිද්‍යාලය හා වවුනියා විශ්වවිද්‍යාලය අතර පැවැත්විණී. මෙම තරඟයේදී පලමුවෙන් පන්දුවට පහරදුන් වවුනියා විශ්වවිද්‍යාලය පන්දුවාර 23 යි පන්දු 3කදී සියලු දෙනා දවා ගැනීමට සබර ක්‍රීඩකයන් සමත් වූ අතර පන්දුවාර 9 යි පන්දු 5කදී කිසිදු කඩුල්ලක් නොදැවී තරඟයේ ජයග්‍රහණය තමා සන්තක කරගැනීමට සබර ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණී. එහිදී පන්දු යැවීමෙන් දක්ෂතා පෙන්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ චතුන් රණසිංහ ක්‍රීඩකයා පන්දුවාර 10කදී ලකුණු 24ක් පමණක් ලබාදෙමින් කඩුලු 5ක් දවාගැනීමට සමත් විය. එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රින්ස් ප්‍රනාන්දු ක්‍රීඩකයා පන්දු 37 කදී අර්ධ ශතකයක් (ලකුණු 57 ක්) නොදැවී රැස් කරගැනීමට සමත් විය.
මෙහි දෙවෙනි තරඟය යාපනය විශ්වවිද්‍යාලය සහ වව්නියා විශ්වවිද්‍යාලය අතර වව්නියා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී යාපනය විශ්වවිද්‍යාලය පන්දුවාර 50 අවසාන වන විට කඩුලු 8ක් දැවී ලකුණු 266 ක් රැස් කරගැනීමට සමත් විය. පලමු ඉනිමේදී යාපනය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් නායක ටී තයුස්ටන් ක්‍රීඩකයා තම කණ්ඩායම වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 80ක් රැස් කර ගැනීමට සමත් විය. දෙවෙනි ඉනිමේදී පන්දුවට පහරදුන් වව්නියා විශ්වවිද්‍යාලයට පන්දුවාර 46 පන්දු 5ක් අවසාන වන විට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 194 ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය යාපනය විශ්වවිද්‍යාලයට හිමිවිය.
මෙලෙස දින 3ක් පුරා විවිධ ක්‍රීඩාංගනවල පැවති අතිශය තරඟකාරී මූලික වටයේ තරගාවලියේ ඉතිරි තරඟ ඉදිරි සති කිහිපය තුල පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතී. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට MoraSpirit අප සූදානම් අතර, ඔබ වෙතින් ලැබුණු සියලු ප්‍රතිචාර වෙනුවෙන් MoraSpirit අප සැම හෘද්‍යාංගමව ස්තූතිවන්ත වෙමු.
Comments