පුරා මාසයකට ආසන්න කාලයක් පැවති 2025 SLUG රග්බි තරඟාවලියේ උණුසුම දිවයින පුරා රග්බි ලෝලීන්ට දැනෙන මොහොතේ සියලු දෙනාගේ හදවත් තුළ ඇත්තේ එක් ප්‍රශ්නයකි. ඒ 2025 SLUG රග්බි කුසලානයේ හිමිකාරීත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ද එසේත් නැති නම් කොළඹ විශ්වවිද්‍යාලට ද යන්නයි. එම පැනයට පිළිතුර රැගත් අවසන් මහා තරඟය වෙනුවෙන් සියල්ල සූදනම්ව ඇති මොහොතක තවත් ඉතිරිව ඇත්තේ අවසන් මහා තරඟයේ උත්කර්ෂය පමණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ පෙන්වා ඇති දස්කම් කාටත් නොරහසකි. විශ්වවිද්‍යාල රග්බි ඉතිහාසය තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අඛණ්ඩව සුවිශිෂ්ට වූ ජයග්‍රහණ තමන් සතු කරගැනීමට සමත් වී ඇත. එහි මෑතකාලීනම උදාහරණය වන්නේ 2023 SLUG ශූරතාවයයි.
2025 SLUG තරඟාවලියේදී ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පෙන්වා ඇත්තේ ක්‍රීඩාවෙහි අසමසම ආධිපත්‍යයකි. ඔවුන් තරඟාවලිය පුරා අපරාජිතව ඉදිරියට ඇදුණේ මෙතෙක් පැවැති තරඟ 4න් 3ක ම තම ප්‍රතිවාන්දීන්ට ප්‍රතිඵල පුවරුවේ කිසිඳු ලකුණක් සටහන් කිරීමට ද ඉඩ නොතබමින් අන්ත අසරණ තත්ත්වයට පත් කරමින්ය. එහිදී, මූලික තරඟාවලියේදී යාපනය විශ්විද්‍යාලයට එරෙහිව ලකුණු 92-00ක් ලෙස ද, රුහුණ විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 48-00ක් ලෙස ද ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකිවිය. අර්ධ අවසන් පූර්ව වටයේදී වයඹ විශ්විද්‍යාලයට එරෙහිව තරඟවැද ලකුණු 68-05ක් ලෙස ලකුණු පූරුවේ සටහන් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අවසන් පූර්ව වටයේදී තම ප්‍රතිවාදීන් වූ සබරගමුව විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 39-00ක් ලෙස ජය සනිටුහන් කර 2025 අවසන් මහා තරඟයට සුදුසුකම් සපුරාලීය. එම අවසන් පූර්ව තරඟයේදී, පළමු අර්ධයේ (ලකුණු 20-00) මෙන්ම දෙවන අර්ධයේ (ලකුණු 19-00) ද එක සේ දස්කම් විදහා පාමිණි.
2025 SLUG රග්බි අවසන් මහා තරඟයට සඳහා සුදුසුකම් ලැබූ කොළඹ විශ්වවිද්‍යාලය ද රග්බි ක්‍රීඩා ඉතිහාසයේ තම නාමය කැපී පෙනෙන ස්ථානයක රැඳවූ දැවැන්තයෙකි. විශේෂයෙන්ම 2024 අන්තර් - විශ්වවිද්‍යාල තරඟාවලියේදී ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එරෙහිව තරඟවැද ශූරතාවය දිනාගත් කොළඹ විශ්වවිද්‍යාලීය රග්බි කණ්ඩායම මෙවරත් තම ප්‍රතිවාදීන්ට එරෙහිව කරට කර තරඟයක් දෙන බව නොඅනුමාන ය.
තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ විශ්ලේෂනයේ දී පෙනී යන්නේ කොළඹ විශ්වවිද්‍යාලය ද තම ප්‍රතිවාදී පිළ මෙන්ම අඛණ්ඩ ජයග්‍රහණ දාමයකට හිමිකම් කියන බවයි. ඒ, තරඟාවලියේ මූලික වටයන්හී දී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 34-08ක් ලෙසත්, සබරගමුව විශ්විද්‍යාලයට එරෙහිව ලකුණු 24-17ක් ලෙසත් ජයග්‍රහණ වාර්තා කරමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය රැස් කරගත් ලකුණු 03 ට එරෙහිව ලකුණු 29 ක් රැස් කරගනිමින් කොළඹ විශ්වවිද්‍යාලය අවසන් පූර්ව වටයට අවතීර්ණ විය. අවසන් පූර්ව වටයේදී රග්බි ක්‍රීඩාවේ තවත් බලගතු පිළක් වූ කැළණිය විශ්වවිද්‍යාලයට එරෙහිව තම ජය නද පතුරවමින් 2025 SLUG රග්බි අවසන් මහා තරඟයේ තම ස්ථානය තහවුරු කිරීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් විය. කැළණිය විශ්විද්‍යාලයට එරෙහිව පැවති තරඟයේ සුවිශේෂත්වය වන්නේ තරඟයේ පළමු අර්ධය අවසන් වන විටත් කැළණිය විශ්වවිද්‍යාලය ලබා ගත් ලකුණු 24 ට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලය ලකුණු 05ක් පමණක් රැස් කරගෙන සිටීමයි. තරඟයේ අවසන් අර්ධයේ දී තම ප්‍රතිවාදියාට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කළ කොළඹ විශ්වවිද්‍යාලය තම ප්‍රහාරක මෙන්ම ආරක්ශක හැකියාව ද විදහා පාමින් ලකුණු 34-29ක් ලෙස තරඟය අවසන් කිරීමට සමත් විය.
මෙතෙක් ගොඩනැගුණු රග්බි උණුසුම පුපුරා යාමට ඇත්තේ තව එක් දිනක් පමණි. තරඟාවලිය පුරා පවත්වාගත් අඛණ්ඩ ජයග්‍රහණ දාමය රැක ගනිමින් 2025 SLUG රග්බි කුසලානය තම විශ්වවිද්‍යාලය කරා රැගෙන යන්නේ කිනම් කණ්ඩායම දැයි අගෝස්තු 03න් වන දින මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී තීරණය වීමට නියමිතයි. තවද, අවසන් පූර්ව වටයෙන් ඉවත් වූ සබරගමුව විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය ද තෙවන ස්ථානය උදෙසා එදිනම සටන් වදිනු ඇත.
2024 අන්තර-විශ්වවිද්‍යාලයීය රග්බි ශූරතාවලියේ අවසන් වටයේ තරඟ වැදුනු කණ්ඩායම් දෙකම නැවතත් ශූරතාවය සඳහා මුණගැසීමද, මෙවර තරඟාවලියේ උණුසුම තීව්‍ර කරන තවත් විශේෂත්වයකි. 2025 SLUG රග්බි කිරුළ වෙනුවෙන් උරෙනුර ගැටෙමින් ජයග්‍රාහී අවසන් මහා තරඟයට කණ්ඩායම් ද්විත්වයටම MORASPIRIT අපි සුභ පතෙන්නෙමු.
Comments